සාමාන්‍ය පාකිස්ථානු කාන්තාවක් උපතේදී ම ආර්ථික, සංස්කෘතික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් ඇගේ යටත්වීම් නිශ්චිත කර තිබෙනවා.
පාකිස්ථානයේ පුරුෂයන් සහ කාන්තාවන් අතර ඇත්තේ අතිවිශාල පරතරයක්.
වෙනස් කොට සැලකීමේ නීති, අයෝග්‍ය ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩසටහන් මෙන්ම ප්‍රමාණවත් නො වන අයවැය ප්‍රතිපාදන මෙන්ම හානිකර සමාජ හා සංස්කෘතික භාවිතයන් ද එයට ඇතුළත්.
දේශපාලන අභිප්‍රායක් නො මැතිකම සහ අර්ථවත් හෝ ඵලදායී ස්ථිර ක්‍රියාමාර්ගයක් නො ගැනීම නිසා මෙම අසමානතා අදටත් නො වෙනස්ව පවතිනවා.
මීට අමතරව පාකිස්ථානයේ කාන්තාවන්ට එරෙහිව විවිධ ආකාරයේ හිංසනයන් ද ක්‍රියාත්මකයි.
ඒ අතරෙන් ප්‍රමුඛ වන ගෘහස්ථ හිංසනය කායික, මානසික හෝ බහුලව වාර්තාවන චිත්තවේගීය හිංසනයක ස්වරූපයක් ගනු ලබනවා.
ස්ත්‍රී දූෂණය කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ වඩාත් ප්‍රචලිත ආකාරය ලෙස දිගට ම පවතින නමුත්, වින්දිතයා වටා ගොඩනැගෙන අපකීර්තිය හේතුවෙන්, වාර්තා වන්නේ සහ අධිකරණය ඉදිරියට පමුණුවන්නේ මෙම සිද්ධීන් අතුරින් ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි.
විවිධ රාජ්‍ය නො වන සංවිධාන වලින් එකතු කරන ලද මෑතකාලීන දත්ත වලට අනුව, පසුගිය මාස තුන තුළ සින්ද් ප්‍රාන්තයේ පමණක් කාන්තාවන් 257 දෙනෙකු ශාරීරික පහරදීම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ ගෞරවනීය ඝාතන ඇතුළු විවිධ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම පාකිස්ථානය තුළ කාන්තාව අත්විඳින භයානක තත්ත්වය හෙළි කරන කදිම කැඩපතක්.
පාකිස්ථානයේ ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වන ඩේලි ටයිම්ස් පුවත්පතට අනුව, මෙම සිද්ධීන් අතුරින් කාන්තාවන් 70 දෙනෙක් ශාරීරිකව පහරදීම්වලට ලක් වූවන්.
ඒ අතුරින් 46 දෙනෙක් දූෂණයට ලක්ව තිබෙනවා.
තවත් 29 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර, 38 දෙනෙකු ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන්.
මීට අමතරව කාන්තාවන් ඝාතන කිරීමේ සිද්ධීන් 41ක් වාර්තා වන අතර ඉන් සිව්දෙනකු ඝාතනය කර ඇත්තේ පවුලේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන්.
පාකිස්තානය තුළ පවුලේ ගෞරවය වෙනුවෙන් සිදුකෙරෙන ඝාතනය අපරාධ වරදක් නො වෙයි.
මෙය දැඩි මතධාරී මුස්ලිම් සමාජයේ බහුලව වාර්තාවන සිද්ධියක්.
මෙම අපරාධවලට එරෙහිව ප්‍රමාණවත් තරම් නීති තිබුණත් පාකිස්ථානය තුළ මේ සියල්ල තවමත් සිදුවෙමින් පවතිනවා.
සින්ද් ළමා විවාහ වැලැක්වීමේ පන, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය (වැළක්වීමේ සහ ආරක්ෂණ පනත), රැකියා ස්ථානයේ කාන්තාවන්ට හිරිහැරවලට එරෙහිව ආරක්ෂා කිරීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ කාන්තා විරෝධී පිළිවෙත් (අපරාධ නීති සංශෝධන) පනත, එම නීති අතරට අයත්.
කෙසේ වෙතත් මෙම නීති බලගන්වා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාකිස්ථාන රජය මේ වනවිටත් මුලුමනින් ම අසමත් වී තිබෙනවා.
ගෞරවයේ නාමයෙන් කාන්තාවන්ට දිගින් දිගට ම සිදුවන පහරදීම් පකිස්ථාන සමාජයේ කාන්තාවන් කෙරෙහි දක්වන පටු ආකල්පයේ සලකුණක්.
මීට අමතරව විදේශගතව සිටින පකිස්තාන සම්භවයක් ඇති කාන්තාවන් පවා වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙනවා.
තිරසාර සමාජ සංවර්ධන සංවිධානය (SSDO) සහ පර්යේෂණ, සංවර්ධන සහ සන්නිවේදන මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, මේ වසරේ මැයි මාසයේ දී දූෂණය කිරීම්, කාන්තාවන්ට එරෙහි හිංසනය සහ කාන්තාවන් පැහැරගෙන යාමේ වැඩි ම සිද්ධීන් සංඛ්‍යාව වාර්තා වූ රට පාකිස්ථානයයි.
මෙවැනි පසුබිමක් තුළ වයඹ දිග පාකිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා වෙන්කර තිබූ උද්‍යානයක් ද වසා දැමීමේ සිද්ධියක් වාර්තා වුණා.
ඒ එම උද්‍යානය “අසභ්‍යත්වය සහ අශිෂ්ටත්වය පතුරුවන” බවට චෝදනා කරමින් ඉස්ලාම් මතවාදීන් සහ ආගමික නායකයින්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන්.
මිලියනයක පමණ ජනගහනයක් සිටින නගරයේ බලධාරීන් ගත් තීරණය කාන්තාවන් අතර කැලඹීමක් ඇතිකර ඇති අතර මෙම පියවර නීතිවිරෝධී බැවින් දැඩි මතධාරී පූජ්‍ය පාර්ශ්වයේ බලපෑමට යටත් නොවන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මානව හිමිකම් නිරීක්ෂකයින් පවසන්නේ මෙම පියවර තලේබාන්කරණය සඳහා වන ඉස්ලාම්වාදීන්ගේ බලපෑමේ ප්‍රතිඵලයක් බවයි.
“මෙය අමානුෂික හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක්” යැයි ප්‍රාදේශීය ක්‍රියාකාරිනියක වන නීතීඥ නටාෂා සුමාන් පවසනවා.
“කිසිවෙකුට අපගේ ගමන් බිමන් සීමා කළ නො හැකයි,” පාකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලු ම පුරවැසියන්ට ගමන් කිරීමේ නිදහස ලබා දී ඇතැයි ඇය පෙන්වා දෙනවා.
කාන්තා ක්‍රියාකාරීන් පවසන්නේ කාන්තාවන්, ගැහැණු ළමයින් සහ කුඩා ළමුන් පමණක් ජින්නා උද්‍යානයට ඇතුළු වූ බවයි.
වයස අවුරුදු 12 ට වැඩි පිරිමි ළමයින්ට එහි ඇතුලුවීමට අවසර ලැබුණේ නැහැ.
එමෙන් ම එහි පැමිණෙන සියලු දෙනා ගතානුගතික ඉස්ලාමීය සම්ප්‍රදායන්ට අනුකූලව හිජාබය පැලඳ හෝ බුර්කාවක් හැඳ සිටි බව නිරීක්ෂකයින් පවසනවා.
එබැවින් එම උද්‍යානය “අසභ්‍යත්වය සහ අශිෂ්ටත්වය පතුරුවන” බවට එල්ල වන චෝදනාව පදනම් විරහිත බව ඔවුන්ගේ අදහසයි.
උද්‍යානය වසා දැමුණේ ඊට එරෙහිව ඉස්ලාමීය නායකයින් සහ පූජකවරුන් පැවැත්වූ දැවැන්ත විරෝධාතාවකින් ද අනතුරුවයි.
2021 අගෝස්තුවේ බලය අල්ලාගත් දා සිට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුල ද මෙලෙසින් ම කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස කප්පාදු කරමින් සිටිනවා.
නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට පාසල් යාම තහනම් කිරීම, බොහෝ කාන්තාවන්ට රැකියාවේ යෙදීම තහනම් කිරීම, සහ ඔවුන්ගේ නිදහසේ ගමන් කිරීමට සීමා පැනවීම ඒ අතරට අයත්.
ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති වයඹදිග පාකිස්ථානයේ තලේබාන්කරණය දැඩිව පැතිර යමින් ඇති අතර ඒ හරහා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී සිටින්නේ කාන්තාවයි.
පාකිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් එරට මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන සානා ඉජාස් පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පැවසුවේ එරට ආරක්ෂක අංශ පාකිස්ථානය මේ වන විට එලිමහන් බන්ධනාගාරයක් බවට පරිවර්තනය කර ඇති බවයි.
සානා පාකිස්තාන රූපවාහිනී මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ අතර සුලුවාර්ගික කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම හේතුවෙන් 2018 දී රැකියාවෙන් නෙරපා හරිනු ලැබුවා.
පසුව අවස්ථා තුනකදී ඉස්ලාම් අන්තවාදීන්ගේ ඝාතන උත්සාහයන්ගෙන් දිවි ගලවා ගත් ඇය දැන් ජීවත්වන්නේ ලන්ඩනයේ යි.
පාකිස්තානය තුළ මේ වන විට මානව හිමිකම් ක්‍රියාකාරීන් දැඩිව මර්ධනය කෙරෙමින් ඇති බව පෙන්වා දෙන සානා ඉජාස් එහිදී කාන්තා ක්‍රියාකාරීන් දැඩි පීඩාවකට පත් කෙරන බවත් පවසනවා.
මේවා චරිත ඝාතනය, පවුලේ සෙසු සාමාජිකයන්ට තර්ජනය කිරීමෙන් නොනැවතී ගෞරවනීය ඝාතනයකට පවුලේ සාමාජිකයන් යොමු කරවන බව ද සානා සඳහන් කළා.