තස්‌ලිමා නස්‌රීන් ගේ ඉස්ලාම් අතීතය


මගේ සිහිනය කාන්තා හිංසනයෙන් තොර
ලස්‌සන ලෝකයක්‌ !
බංග්ලාදේශ් ලේඛිකා තස්‌ලිමා නස්‌රීන්

මේ සාහිත්‍ය මාසයයි. මුළු අවුරුද්දේම නැති වුවත් සාහිත්‍ය ගැන සාහිත්‍යය මාසයේ දී වත් කතා කිරීම හොඳය.

සාහිත්‍ය කියන්නෙ මිනිසුන්ගෙ අභ්‍යන්තරයට වැදී එහි ඇති කුණු කන්දල් හා ඉරිසියා ක්‍රෝධ ලෝභ වැනි කෙළෙස්‌ කළල් හා කැටකැබිලිති සෝදා පිරිසිදු කරන ඖෂධයක්‌. සාහිත්‍ය එක්‌තරා විදියක භාවනාවක්‌. පොතක්‌ අතට ගත් තැනැත්තා මඳ වේලාවක්‌ යන්නට මත්තෙන් තමන්ටම අනන්‍ය වූ එක්‌තරා සමාධියකට සමවදී. එයින් ඔහුට තම ආත්මය හා ස්‌වයං සංවාදයකට එළඹෙන්නට ඉඩ ලැබෙනවා.

තමා කවරෙක්‌ද? තමාගෙන් සමාජයට කිසියම් යහපතක්‌ ඉටුවීද එසේ නොවේ නම් එම යහපත කුමන අන්දමේ එකක්‌ද? මා මෙතෙක්‌ ගමන් කළ මඟ දෝෂ සහගතද එසේ නම් එය නිවැරැදි කර ගන්නේ කෙසේද? යන ගැටලුවලට පිළිතුරු ලබා ගැනීමට ඔහුට සාහිත්‍ය උපකාර වෙනවා.

සියවසක්‌ ජීවත් වී ලැබිය හැකි අත්දැකීම් එක හොඳ පොතක්‌ කියවීමෙන් ලැබිය හැකි යෑයි යන්න හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කියන්නේත් මා කියවන සෑම පොතකින්ම ලෝකයට නව කවුළුවක්‌ විවෘත වන්නේ යෑයි රුසියානු ලේඛක මැක්‌සිම් ගෝර්කි කියන්නේත් ඒ නිසා විය යුතුය. අද තියෙන්නේ කාර්යබහුල වූ තදබද වූ ජීවිතයක්‌. මිනිසුන් ගෙදර ඉන්නේත්, පාරේ තොටේ යන්නේත් හිස ගිනි ගත්තවුන් ලෙසිනි. හරියට හෙට අනිද්දා ලෝකය විනාශ වෙන්න යනවා වගේ. ඔවුන් බොහෝ දෙනා සෙල්ෆෝනයක්‌ කනේ රුවාගෙන සිහිමඳ ගතියෙන් මෙන් ඇවිද යනු ඔබ කොතෙකුත් දකින්නට ඇති.

එමෙන්ම රාත්‍රියේ දී බොහෝ දෙනා කරන්නේ රූපවාහිනියේ නිසරු ටෙලියක්‌ දෙස ඇස්‌ දල්වා බලා සිටීමයි. රැයක නිවසකට ගොඩ වුණොත් මේ දර්ශනය ඔබට දැකගත හැකියි. පරිගණකය ඉදිරියේ වාඩිවී පාෂාණිභූත වී ඉන්නා තරුණ දූ දරුවන්ද සුලබ දසුනක්‌. ඉතින් මේ ක්‍රියාකාරකම් කිසිසේත් ජීවිතයක පරිණත වීමේ හෝ මානසික වර්ධනයක්‌ ඇතිවීමේ ලකුණු හැටියට දැක්‌වීම අසීරුයි.

මේ ආයතන දෙකෙහිම සිතෙහි සන්සුන් බවක්‌ හෝ විචාරශීලී පුළුල් ජීවිත අවබෝධයක්‌ ලබා ගැනීම ගැන විශ්වාසයක්‌ තැබිය නොහැකියි. නිසරු රූපවාහිනි වැඩසටහන් තමා තුළ ඇති රසඥතාවද මොටකර දමන අතර පරිගණකය අලුත් යමක්‌ ලබා දෙන්නේ එය නිවැරැදිව පරිහරණය කළොත් පමණකි.

එහෙත් සාහිත්‍ය එසේ නොවේ. එය ජීවමාන සත්ත්වයකු වගේ එය තමා අතටගත් පුද්ගලයාගේ මනස තුළට කිඳා බැස ඔහු සමග ජීවිතයේ මාවත් දිගේ ඔහු කැඳවාගෙන යයි. කියවන්නා පොත පසෙකින් තබන්නේ ජීවිතය පිළිබඳව පිරුණු අවබෝධයකින් යුතුවයි.

අද තරුණ පිරිසගෙන් වැඩිදෙනා සාහිත්‍ය ගැන මෙලෝ හසරක්‌ නොදන්නා බව ඇතැම් රූපවාහිනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලදී ඔවුන් දෙන පිළිතුරුවලින් මනාව දැකගත හැකියි. ඔවුන් පොත්වල නම් පමණක්‌ නොව පසිඳු ලේඛකයන් පවා දැන අඳුනන බවක්‌ පෙන්වන්නේ නැහැ. මෙවැනි අය අතර සමාජයේ පිළිගත් අය වන උපාධිධාරීන්, ගුරුවරුන්, ගණකාධිකාරින්, දොස්‌තරවරුන්ද ඉන්නා බව කියන්නට කනගාටුයි.

සාහිත්‍යය අපේ රටේ පොදු මිනිසුන් අතර පැතිරී ඇත්තේ මෙවැනි කනගාටුදායක තලයක වීම සතුටු විය හැකි කාරණයක්‌ වෙන්නේ නෑ. සාහිත්‍යයේ සෑම රටකම භාෂාව වගේම ජීව රුධිරය ලෙසයි සැලකෙන්නේ. මන්දයත් රටක පුරවැසියන් තුළ වඩා යහපත් ආකල්ප, සිතුම් පැතුම් හා සදාචාරය නංවන්නට ආගම හැරුණාම ඇති ප්‍රබල මාධ්‍යයක්‌ වන නිසයි.

සාහිත්‍ය පොතපත මිනිස්‌ හදවත්වල රළු බව මකා ඒවා ඉතා මෘදු කරයි. යහපත් සදාචාරාත්මක සමාජයක්‌ බිහිකිරීමට පෙරමඟ තනයි.

මේ සඳහා මනා කැපවීමකින් හා ජීවිතයද පරදුවට තබමින් අද සාහිත්‍ය අඹරේ වැජඹෙන රන් තාරකාවන් ගැන මේ සාහිත්‍ය මාසයේ කතා කළ යුතු යෑයි සිතුණා.

ඒ බංග්ලාදේශ ලේඛිකා තස්‌ලිමා නස්‌රින්. ඇය ගැන කතා කිරීමට විශේෂ හේතු කීපයක්‌ තියෙනවා. එකක්‌ ලිවීම නිසා ඇය ඉස්‌ලාම් අන්තවාදීන් විසින් මරණයට තීන්දු කර තිබිමයි. දෙවැන්න ඇගේ ලිවීමට ඇති ආශාව මරණයට හෝ යටපත් කරන්නට නොහැකි වීමයි. තෙවැන්න ඇගේ ලිවීම හුදෙක්‌ සාහිත්‍ය රස වින්දනයෙන් එහා ගිය ලොව හිංසනයට ගොදුරු වූ කාන්තාවන්ගේ දැවැන්ත හඬක්‌ද වීමයි.

කලාව කලාව සඳහාම නොව ලොව ජනතාවගේ සුබසෙත සඳහාද යොමුවිය යුතුය යන ධනාත්මක සංකල්පයේ ඇය පරිපූර්ණව යෙදී සිටීමයි.

1993 දී ඇය විසින් ලියන ලද ලඡ්ජා නමැති නවකතාව නිසා මුස්‌ලිම් ආගමට නින්දා වී යෑයි චෝදනා කොට ඇය රටින් පිටුවහල් කළේ අන්තවාදී මුල්ලාවරුන් විසිනි.

ඉන් අනතුරුව ස්‌විඩනයට පලාගිය ඇය එහි පුරවැසිකම ලබා එහි වාසය කළා. අනතුරුව ජර්මනියේ ද ඉන්පසු 2004 දී ඉන්දියාවට පැමිණි තස්‌ලිමා 2007 වන තෙක්‌ කොල්කටාවේ වාසය කළා. යළිත් රටින් පිටුවහල් කරනු ලැබූ ඇය නැවත දිල්ලියට වාසය සඳහා පැමිණියා.

තස්‌ලිමා නස්‌රීන්ට මෙසේ මුල්ලාවරු අවි අමෝරා ගැනීමට හේතු වූයේ ඇය මුස්‌ලිම් ආගමට අපහාස කළා යෑයි කීම නිසාම නොවෙයි. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල පවතින කාන්තා හිංසනය, පුරුෂාධිපත්‍ය, ස්‌ත්‍රී දූෂණය, දෑවැද්ද නිසා කාන්තා ඝාතනය, ලිංගික වහල් සේවය, ස්‌ත්‍රී කළල ගබ්සා කිරීම (භ්‍රෑණය ළදැරියක නම් ගබ්සා කෙරේ) වැනි අමානුෂික කාන්තා වධ බන්ධනවලට එරෙහිව ලිවීමේ පව නිසාය.

ඇය නිර්භය ලෙස මේ අවලම් තත්ත්වයෙහි සැඟවී ගත් කෲර ස්‌වභාවය තම නවකතාවලට වස්‌තු විෂය කරගත්තා. හින්දු කෙල්ලක මුස්‌ලිම් තරුණයකු විසින් දූෂණය කිරීමේ සිදුවීමක්‌ ඇතුළත් කතා පුවතක්‌ ලඡ්ජා නවකතාවෙ එන්නේ. අවසානයේ එම යුවළ කොල්කටාවට පැන යනවා.

මුල්ලාවරු ඇයට චෝදනා කළේ ඇය මුස්‌ලිම් ජනතාවගේ සාමයටත්, අයිතියටත් බාධා කරන්නියක බවයි. තස්‌ලිමා මුස්‌ලිම් සම්ප්‍රදායික මතවලටත් කුරිරු ආගමික මතවලටත් දැඩි ලෙස පහරදීමට පසුබට වූයේ නැහැ. මේ නිසා තස්‌ලිමා මුල්ලාවරුන්ගේ සැතිරියක බවට පත්වීමට වැඩි කලක්‌ ගියේ නෑ.

තමා පසුපස පන්නා එන කිපුණු මූලධර්මවාදී සර්පයන් ගෙන් ඇය ජීවිතය බේරා ගත්තේද යන්තමිනි. ඉන්පසුවයි තස්‌ලිමාට රහසිගත ජීවිතයක්‌ ගත කිරීමට සිදු වූයේ.

මගේ එක පොතක්‌ පමණක්‌ කියවූ අයයි ඔය මගේ පස්‌සෙන් පන්නන්නේ. එහෙත් ඉස්‌ලාම් ආගමට විරුද්ධ එකම වැකියක්‌ ඔවුන්ට එහි සොයාගැනීමට බැරිවුණා. හාස්‍යජනක කරුණක්‌ නම් ඉස්‌ලාම් ආගම ගැන විවේචනයක්‌ නැති එකම පොත ලඡ්ජා වීමයි.

1962 අගෝස්‌තු 25 වැනිදා මහමන්සිංහි උපන් තස්‌ලිමා නස්‌රින් 1980 වේදී මයිමෙන්සිං වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නවා. එතැන් සිට 1994 දක්‌වා ඇය පළාත්බද රෝහලක වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. මෙහිදී ඇය ලැබූ දුක්‌මුසු අත්දැකීම් ඇගේ නිර්මාණවලට බලපෑවා.

එසේ සේවය කරන අතර තුර 1986 දී ඇය තමාගේ ප්‍රථම නවකතාව බිහි කරනවා. එය Shikore Blput Khula) Hunger in the Roots) නම් වුණා.

තස්‌ලිමා දෙවරක්‌ විවාහ ජීවිතයට ඇතුළු වූ කාන්තාවක්‌. ඇගේ දෙවන සැමියා වන නයිමුල් ඉස්‌ලාම් ඛාන් ඇගේ සාහිත්‍ය කටයුතු සඳහා උදව් කළ අයකු වීම ඇයට සහනයක්‌ වුණා.

2003 දී ඇය ලියූ පොත ලිංගික සම්බන්ධතා හා විවිධ පුද්ගලයන් ගැන විස්‌තර ඇතුළත් එකක්‌. මේ පොත බොහෝ තර්ජනවලට තස්‌ලිමාට මුහුණ පාන්නට සිදුවූ පොතක්‌. ඇගේ Wild Wind පොත ද තහනම් කරනු ලැබුවා. ආගමික එකමුතුකම විනාශ කරන බවට යළිත් චෝදනා නැගුණා.

බෙංගාලයෙන් පිටවී ගියාට පසු ඇය ගත කළේ ඉතා දුෂ්කර ජීවිතයක්‌,

කල්කොටාහි ජීවත්වීමට ඇය ආශා කළත් ඒ සඳහා ඇයට ඉඩ ලැබුණේ නෑ. ඇය එවර ස්‌වීඩනයේ වාසයට ගියා.

මගේ රටට යන්න නොලැබීම මට වේදනාවට කාරණයක්‌. මනුෂ්‍යයකු හැටියට මට කැමති තැනක යන්නට අවසර නැහැ. මම කැමති කෙනෙකු හා මිතුරන් හමුවී කතා කරන්නට බැහැ. මම යන වාහනයේ කවුළු වහලා පිටත පේන්නේ නෑ. මට ආහාර ඇඳුම් පැළඳුම් සියලු අවශ්‍යතා ලැබුණත් මට නැත්තේ නිදහසයි.

මගේ භාෂාව කතා කරන ප්‍රදේශයේ ජීවත් වන්නට නොලැබීම මගේ නිර්මාණකරණයට තදින් බලපානවා. භාෂාව වෙනස්‌ වෙමින් පවතින්නේ කොහොමද කියලා මට දැන ගන්න බැහැ.

මෙවැනි බොහෝ දුෂ්කරතා තිබුණත් ඇය තම ලිවීම අත්හැරියේ නෑ. ඇගේ ග්‍රන්ථ අතර The oppomeal 1992,Revenge 1992, invitation 1998 Tel him the secret 1994 French lover 100 poems of taslima Nasreen වෙයි.

තස්‌ලිමාට මහත් විරෝධයක්‌ එල්ල වූයේ ඇයගේ නිර්වාසන් නමැති කෘතිය කොල්කටා පොත් සල්පිලේ දී එළිදැක්‌වීමට ගිය අවස්‌ථාවේදීයි. එය තම ජීවිතය අළලා ලියන ස්‌වයං චරිතාපදානයක එක්‌ කොටසක්‌. කෙසේ වුවත් ඇයට පොත එළි දැක්‌වීමට මූලධර්මවාදීන් ගෙන් ඉඩ ලැබුණේ නෑ. එහිදී ඇයට පහරදීමට පවා තැත් කරනු ලොවම දුටුවා.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍යය සමුළුව හමුවේ පැවැති හමුවේ දී මරණ තර්ජන හමුවේ ජීවත්වීමට සිදුවීම මොනවගේ හැඟීමක්‌ද කියා අසනු ලැබුවා.

එහිදී තස්‌ලිමා ඇය මුහුණපෑ අපූරු සිදුවීමක්‌ විස්‌තර කළා. එය සිදුවී ඇත්තේ 1990 කාලයේ ඇය රික්‍ෂෝ රථයකින් ගමන් කරමින් සිටියදීයි.

මම ඒ කාලේ කාන්තා ප්‍රශ්න ගැන පුවත්පත්වලට තීරු ලිපි ලිව්වා. මම එවෙලාවේ වෛද්‍ය විද්‍යාලයට යමිනුයි සිටියේ. අතරමගදී පෙළපාලියක්‌ අප ඉදිරියට ආවා. සෙනග 50,000 ක්‌ විතර එතන සිටියා.

ඔවුන් මගේ නම කියමින් මා එල්ලා දැමිය යුතු යෑයි ඝෝෂා කළා. මම හෙලවෙන්නෙවත් නැතිව ඔවුන් මා පසුකර යනතුරු රික්‍ෂෝවට වෙලා හිටියා. මට ඒ වෙලාවේ ඇති වුණ බය කාලයක්‌ යනතුරුම මගේ සිතින් ඈත් වුණේ නැහැ.

පෙළපාළිය ගියාට පසු රික්‍ෂෝකරු මට කීවා තස්‌ලිමා කියන ගෑනි එල්ලා දමන්නම ඕනෑ. ඔය ගෑනි කිසි බයක්‌ සැකක්‌ නැතිව ඉස්‌ලාම් ආගමට බණිනවානේ කියලා. මම ඒ තස්‌ලිමා බව ඒ මනුස්‌සයා දැන සිටියේ නැහැ.

ඉන්පසු මාධ්‍ය ඇගෙන් ඇසුවා කුමක්‌ හෝ දෙයක්‌ ගැන පසුතැවිලි වෙනවාද කියා? එයට ඇගේ පිළිතුර වූයේ මෙයයි.

මගේ මව පිළිකා රෝගියෙක්‌. ඇය එයින් මිය ගියා. ඒත් ඇය රෝගීව සිටි කාලයේ ඇය ළඟින් සිට අයට සාත්තු කිරීමට බැරිවීම ගැන මම බොහෝ පසුතැවිලි වෙනවා. ඇයට කාගෙන්වත් ආදරය ලැබුණේ නැහැ. මගේ පියා පවා ඇයට ආදරය කළේ නැහැ.

ඇය අසරණව සිටිද්දී මම කාන්තාවන්ගේ පීඩනය ගැන පුවත්පත්වලට ලිපි ලියමින් සිටියා. ඈ ගැන බැලුවෙ නැහැ.

එහෙත් මා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී මගේ ළඟටම වෙලා සිටිමින් මගේ දුක සැප බැලුවෙ ඒ අසරණ අම්මා තමයි. ඒත් මම ඇයව බලා ගන්න කාලෙ වෙන කොට මම කිසිම දෙයක්‌ කළේ නැහැ. මට ඒක ඉවසන්න අමාරුයි. මම වෛද්‍යවරියක්‌ හැටියට හුඟක්‌ ලෙඩුන්ට ප්‍රතිකාර කළා. ඒත් මට මගේම අම්මාට එසේ කරන්න බැරි වුණා.

තමා මරා දැමීමට තැත් කිරීම ගැන අදහස කුමක්‌දැයි මාධ්‍ය අනතුරුව තස්‌ලිමාගෙන් ඇසුවා.

මා මරා දැමීම අනිවාර්ය කරුණක්‌ වෙලා කියලයි මට හිතෙන්නෙ. ගොඩක්‌ අය ඒ ගෞරවය ලබාගන්න පොරකනවා.

ලීලානන්ද වික්‍රමසිංහ

 

http://www.divaina.com/2012/09/23/nimna03.html

This entry was posted in අයිතිවාසිකම් කථාකල විට තර්ජන වලට ලක් වීම, ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, තස්‌ලිමා නස්‌රීන්, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )